Thursday, February 13, 2020

අපූ ත්‍රිත්වය


නිර්මලා පැමිණ අපූ ලගින් හිද ගත්තාය. එවෙලේ අපූ වීජ ගණිතයේඅමාරු ගණන් වගයක් සාදමින් සිටියේය.

“මට ඉංග්‍රීසිටිකක් කියල දෙන්නකො අයියෙ”

"ඔන්න ඉතිං ආවා. දැන් බෑ. උදේ ඉදලා එක ගනනක්වත් හරියට හදා ගන්න බැරි උනා."

නිර්මලා තනිවම හිදගෙන පාඩම් කරන්නට වූවාය. ඇය ඉංග්‍රීසි හා බෙංගාලි බස මනාව දැන සිටියාය. පොත මදක් කියවූ ඇය පොත වසා අපූ ගනන් සාදන ආකාරය දෙස බලා සිටියාය. ඉන්පසු ටික වේලාවක් නිහඩව සිටි ඇය අපූගේ උරහිසට අත තබා කතා කලාය.

"මේ බලන්න අපූ අයියෙ, මේ කවියෙ ඉතුරු ටික හදල දෙන්න"

"යන්න මං දන්නෙ නෑ. මට ගනන් හදන්න බැරි උනේ ඔයා හින්දයි නිර්මලා. දැන් කවි හදන්න පටන් අරන්. ඔයා හරි ලමයෙක් තමයි."

නිර්මලා මුදු සිනාවක් පෑවාය.
....................................
...................................
“එක පාරටම අස්පයා වගේ දුවගෙන ආව නේද?. මිනිත්තු තුනට මට බෑ ඕව කරන්න"

"තව වැඩි දවසක් කරන්න වෙන්නෙ නෑ. මාස තුනයි ඊට පස්සෙ යනවා යන්න." නිර්මලාගේ මුහුනින් සිනාව මැකී ගියේය.

"කොහේ යන්නද?"

"මාස තුනකින් විබාගෙ ගන්නවා. ඊට පස්සෙ ගෙදර යනවා. පාස් උනොත් කල්කටාවට ගිහින් ඉගෙන ගන්නවා".

"ඊට පස්සෙ මෙහෙ නවතින්න වෙන්නෙ නැද්ද?".

අපූ හිස සෙලවීය. ටික වෙලාවක් නිහඩව සිටි ඔහු විහිලුවක් කරන ස්වරයෙන් කතා කලේය.

"ඔයාට හොදයිනේ මං යන එක. ඔයාට වැඩ අඩුවෙනවනේ. ඔය මොකද. හානේ මොකද උනේ නිර්මලා."
..............................
..............................
"අයියා ආපහු මෙහෙ එන්නෙ නෑ. මං ඔයාගෙ හැටි දන්නෙ නැද්ද?.මෙහෙන් ගියාට පස්සෙ ආයෙ කවදාවත් ඔයා මේ පැත්තවත් බලන්නෙ නෑ."

අපූ ඒ කියමනට විරුද්ද වීමට ගියත් නිර්මලා එයට බාදා කලාය.

"ඒක මං හොදට දන්නවා. මේ අවුරුදු දෙකට මං අයියව හොදට අදුන ගත්තා. ඔයාගේ හිතේ ආදරේ කරුනාව වගේ දේවල් බොහොම අඩුවෙන් තියෙන්නේ."

2006 වර්ෂයේදී කොලඹ පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් ඉන්දියානු වංග සාහිත්‍යයේ විශිෂ්ට ගත් කතුවරයකු වූ විභූති බූෂණ බ්න්ධෝපාධ්‍ය විසින් රචිත "අපූ ත්‍රිත්වය" තුන්වෙනි වරටත් කියෙව්වෙමි. 
බටහිර බෙංගලයේ පන්තිර් ග්‍රාමයේ උපත ලද මොහු ජිවිතයේ මුල් කාලයේදී අගහිගකම් වලින් පිරුණු ඉතා දුක්බිත ජිවිතයක් ගත කර ඇත. කතුවරයකු විමට පෙර ඔහු සහ ඔහුගේ පවුල ජිවත් කරවීම සදහා විවිද රැකියාවන් වල එනම් ගුරුවරයෙක්,සංචාරක ප්‍රවර්දන නිලදාරියෙක්, වතු ලේකම් කෙනෙක් ලෙසද සේවය කර ඇත. ඔහුගේ රචනා විසිවන සියවසේ  මුල නොබෙදුණු බෙන්ගාලයේ කුල බේදය ඔඩුදුවා තිබු ග්‍රාමීය ප්‍රජාවගේ දිලුදු ජිවිත ඇසුරින් නිර්මාණය වී ඇත. සරල ස්වතන්ත්‍ර රචනා ශෙලියකින් නිර්මාණකරනයේ යෙදුන මේ ඉන්දියානු කතුවරයා මානව දයාවෙන් මෘදු වූ හදවතකින් යුතුව මිනිසාගේ සැප හා දුක මිශ්‍ර වූ අත්දැකීම් ස්වබාවධර්මයේ කෝමල ශාන්ත ස්වරූපය සමග මනා ලෙස සංකලනය කරමින් පාඨක සිත් ශෝකය මුසු ආනන්දයකට ගෙන යන ආකාරය ඉතා ප්‍රසංශනීයයි. සිංහල ගද්‍යය සාහිත්‍යයේ කිවිදිය නමින් විරුදාවලිය ලත් චින්තා ලක්ශ්මී සිංහාරච්චි විසින් සිංහලට පරිවර්තනය කර ඇති මෙම නවකතාව ලංකාවේ සංස්කෘතියට බොහෝ නෑකම් කියයි. ඉහත ඇත්තේ එහි දෙවන කොටස වන "අපරාජිත ජීවිතයක්" හි තිබූ සංවාදායක කොටසකි.

අපූගේ ළමා කාලය විවරණය කරන "මාවතේ ගීතය" තුලදී අපට හමුවන හරිහර, සර්වජයා,අපූර්ව රායි, දුරගා,ඉන්දිරා මැහැල්ල, පටූ,නීලමණී රායි, රාණු අක්කා,නරෝත්තම දාස් සීයා වැනි අයගේ විවිද මානුෂික බැදීම් හා ප්‍රතිවිරෝධතා මතින් එවකට කල්කටාව හෙවත් බෙංගාලය අසල ඉතා පිටිසර ඉන්දියානු ග්‍රාමය ජීවිතය ඉතා විචිත්‍රවත් සිත්තමක් ලෙස අප ඉදිරියේ දිග හැරෙයි. 

එහි දෙවන කොටස වන "අපරාජිත ජීවිතයක්" අපූර්ව රායි හා ඔහුගේ දෙමාපියන් වඩා හොද ජීවිතයක් බලාපොරොත්තුව ගම හැර ගොස් බරණැස ගෙවුණු ජීවිත කතාවයි. එහිදී ඔවුන්  බලාපොරොත්තු වූ සැප පහසුකම් වෙනුවට නාගරික පැල්පත්වාසී ඉතා දුක්බිත ජීවිතයක් උරුම වේ. පෙර ඔවුන් විසූ ග්‍රාමීය නිශ්චිංදිපුරයේ තිබූ සුවදායක පරිසරය, හදිසියකදී පිහිටට එන අසල්වැසියන්, පරිසරයෙන් නොමිලයේ සොයා ගතහැකි  ආහාර ද්‍රවය ආදී කිසිවක් බරණැසදී ඔවුන්ට නොලැබේ. බරණැස ජීවිතය හා බැදුණු ,ශුබංකරී පාඨශාලාව,දශාශ්වමේධ තොටුපල, ලීලා නමැති පොහොසත් දැරිවිය,නිරූපමා, දෙවාන්පුරයේ උසස් විදුහල හා එහිදී හමුවන දේවව්‍රත, සත්‍යන් බාබු, දෙවෙනි මහත්තයාගේ දුව නිර්මලා ආදීන් සමග අපූ ළමා අවධියේ සිට තරුණ අවධියට පා තබන ඉතා කටුක ජීවිත මාවත අප ඉදිරියේ දිග හරියි.

අවසාන කොටස "අපූගේ ලෝකය" තුලින් අපූ උසස් අධ්‍යාපනය සදහා කල්කටා යාම,ශියාල්දහ දුම්රියපල,අඛිල බාබු,රිපන් කොලීජිය හා එහිදී හමුවන යහලුවන් වන ප්‍රණව, අනිල්,මන්මත, ප්‍රණවගේ නෑනා වූ අපර්නාගේ මංගල්‍යට දුම් බෝට්ටුවෙන් යෑම, අනපේක්ෂිත ලෙස අපර්නා සමග වන විවාහය,පුතු කාජල් ඉපදීම , අපර්නාගේ මරණය , සන්නාසියෙකු මෙන් ඉබාගාතේ ඇවිදීම, ලීලාගේ මරණය වැනි සිදුවීම් මගින් අහිමි වූ සෙනෙහසක් සමග යම් දුක් කාන්සාවකින් ඔහු පෙලන අයුරු ඉතා සංවේදී ලෙස අප සිත් තුලට කාවැද්දීමට කතුවරයා ඉතා දක්ෂ ලෙස සමත්ව ඇත. ජීවිතයේ සියලු බැදීම්  අත්හරිනා එහි නිස්සාර බාවය ඉස්මතු වන ලෙස කතාව නිම කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.

අපූගේ ජීවිතයේ යෞවනය අදුරු දුක්ඛ දෝමනස්සයන් සමගම ගෙවී ගොස් එහි සුගන්දය මැකී රික්තයක් පමනක් ඉතිරි වී ඇත. හමා එන පවන් පොදකින් පවා අපූ තිගැස්සෙයි. ජීවිතයේ ඒ සියලු තන්හි ඔහුගේ දෑසට හසුවන්නේ චමත්කාරය හෝ සුන්දරත්වය වියුක්ත වූ දසුන්ය. ඒවා නිශ්චින්දි පුරයෙහි තම ලමා කාලයේදී දුටු අවතාර වෙතට ඔහු කැදවා ගෙන යයි. ඒ කිසිවක් ජීවිතයට නව බලාපොරොත්තු එක් නොකරයි. අවසන ඔහු දකින හා ඔහුට සිහිවන අතීත ස්මරන තුලින් අපූ තමාව නැවත දකින්නේ ඔහුගේ පුත් කාජල් තුලිනි.

"පුතේ කෝ මේ දග කොල්ලා?.මේ කැලෑවට වැදිලා මොනව කරනවද මං දන්නෙ නෑ.කැලෙන් එලියට එන්න පුතේ."

ලමයා සිනාසෙමින් කැලයෙන් පිටතට ආවේය. ඔහු නැන්දාට මද බියක්වත් දක්වන්නේ නැත. නැන්දා තමාට හුගක් ආදරේ බව ඔහු දනියි. අත්තම්මා මියගිය පසු තම පියා හැර අන් කිසිවකු නැන්දා තරම් ඔහුට ආදරය කලේ නැත. ලමයා කැලෙන් පිටතට එනු දකිද්දී රානුගේ සිතට එකවරම දැනුනේ හරියට මේ ආකාරයෙන්ම මුහුනේ පිලිබිඹු  වන දගකාර ඉරියව්වක් අපූගේ මුහුනේද ඒ කාලයේ තිබුනු බවයි.

යුගයෙන් යුගය අපරාජිත වූ ජීවිතයක රහස කොතරම් අපූරු ආකාරයෙන් නැවත වරක් ඉස්මතු වී ඇත්ද?
අවුරුදු විසි හතරක් ගමට නෑවිත් සිටි බොලද ලමයකු වූ අපූ නැවත වරක් නිශ්චින්දිපුරයට පැමින සිටියි.

ලේඛකයාගේ ජීවිතය වසාගත් අදුරද ආලෝකයද ඒකාත්මික වී ගලා ගොස් නිමාවන අපූගේ කතා ත්‍රිත්වය දිනක අප ජීවිතයේදීද අත් විදින්නට සිදුවන පාලුව හා හුදෙකලාව පිලිබද ශෝකී රසයක් ජනිත කරනා මානයකට අප රැගෙන යයි.

බැලුවාට ස්තූතියි.
ඉදිරි දිනයක නැවත කටුගාන තුරු
කුමාරෝද පිටු.

6 comments:

Kalana said...

ඔබ මෙහෙම ලියද්දි මට ආර් . කේ නාරායානයන් ගේ "මල්ගුඩි දවස" මතක් උනා . එච්චර ලස්සණ පොත් වගේම ටෙලි නිර්මාන අද ඉන්දියාවේ බිහිවෙන්නේ නැහැ . කොතන හරි වැරද්දක් තියෙනවා වගේ පේනවා .

කුමාරෝද පිටු said...

ඔබ හරි කලණ. මම හිතන ව්දියට අද ඉන්දියාවේ ජනප්‍රියම නවකතා කරුවා චේතන් බගත් වෙන්න ඕන. ඔහුගේ පොත් සියල්ලම වගේ සිංහලට පරිවර්තනය කරලා තියෙනවා දිලීප ජයකොඩි විසින්. ත්‍රී ඉඩියට්ස්- තුන් තකතීරු කං කරපු කෙනෙක් මං, ටූ ස්ටේට්ස්-මොන මගුලක්ද මන්දා, හාෆ් ගර්ල් ෆෙන්ඩ්- හැන්ගි විහැන්ගි වගේ ඒව මමත් කියවල තියෙනව. කියවගෙන යනකොට හරිම ලස්සනයි. එත් අන්තිමට පුස්ස බින්දා වගේ කිසිම හරයක් නැහැ. හරියට ලංකාවේ සුජීව ප්‍රසන්න ආරච්චි ලියන නවකතා වගේ.

නිදිගෙ පංච තන්තරේ said...

කියවාගෙන යද්දී පොඩි ආඩම්බරයක් හිතුණා.
විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයෙන් මාවතේ ගීතය- අපූගේ ලෝකය- අපරාජිත ජීවිතයක් පොත් තුනම මුල්වරට මුද්‍රණය කරවද්දී මමයි ඒ මුද්‍රණාලයේ මුද්‍රණ කළමනාකරු!

කුමාරෝද පිටු said...

ඔබ හරි වාසනාවන්තයි ඒ වගේ හොද පොත් පල කරන්න සම්බන්ද වීමට හැකි වීම පිලිබදව. මම ඉතාම කැමති පොත් තුනක්. එහෙනම් ඔබට චින්තා සිංහාරච්චි මහත්මියත් හමු වෙලා ඇති. ඇය පරිවර්තනය කල බොහෝ පොත් මම කියවල තියෙනව.

නිදිගෙ පංච තන්තරේ said...

හමුවුනා.
අන්තිම අහිංසක, නිරහංකාර, ලජ්ජාශීලී කාන්තාවක්, චින්තා ලක්ෂ්මී සිංහාරච්චි මහත්මිය.
අයගේ අකල් මරණයත් මට වාසනාවක් උදා කළා. ඇගේ අවසන් කටයුතුවලට සහභාගී වීමට නුවර ගිය වාහනයේදී අජිත් තිලකසේන, සරත් විජේසූරිය, ජනක ඉනිමංකඩ, (මතක හැටියට) චූලානන්ද සමරනායක වගේ පිරිසක් එක්කයි ගියේ.
හිතාගන්නකෝ කොච්චර වටිනා එකමුතුවක් එක්ක- පැය හත අටක්.....

අනුරුද්ධ වැලිගමගේ said...

මම පොත් කියෙව්වේ නැහැ. ඒත් සත්‍යජිත් රායි ගේ චිත්‍රපට තුනම බැලුවා. ඒවා ජීවිත විවරණය කරන විදිහට හරි කැමතියි .

අහිමි වූ ආදරයක කදුළු

නවක ගීත රචකයකු වන රවි සිරිවර්දනගේ   මෙම මනරම් පදමාලාව තුලින් අහිමි වූ ආදරයක් ඉදිරියේ පෙම්වතියකගේ සහ පෙම්වතකුගේ සිතේ   ඇතිවන  සංකීරන හැ...