Friday, February 7, 2020

කොහෙන් කොහොම පටන් ගන්නද

මම බ්ලොග් බලන්න පුරුදු උනේ අහම්බයකින් වගේ. මට මතක විධියට ඒ 2017 අවුරුද්දෙ මැයි මාසෙ. අනෝරා වැහි වැටිලා මහා ගංවතුරක් ගලලා රටේ විශාල ප්‍රදේශයක් ගංවතුරට යට වෙලා අහිංසක මිනිස්සු ලක්ෂ ගණනක් අනාත වෙලා හිටිය. මම සේවය කරන ආයතනයෙනුත් මුදල් එකතු කරා කල් තබාගත හැකි ආහාර වර්ග මිලදී ගෙන අනාත වෙලා හිටිය මිනිස්සුන්ට බෙදල දෙන්න. ඉතින් අපි වැඩි බඩු ප්‍රමානයක් ගන්න පුලුවන් නිසා පිටකොටුවෙ තොග කඩවල් වලින් තමයි ආහාර ද්‍රවය මිලට ගත්තෙ.මතක විදියට රුපියල් ලක්ෂ හතරක විතර හාල්,පරිප්පු,සීනි,තේ,කෝපි,ටින් මාලු,කිරි පැකට්,සෝයා මීට්, පැනඩෝල් වගේ මිනිස්සුන්ට එදිනදා අත්‍යවශ්‍ය දේවල් තොග මිලටම ගත්ත.දැන් මේව බෙදා දෙන එක තමයි ඊලග ප්‍රශ්නය උනේ. ඒ වෙනකොට ගංවතුරට යට උන ප්‍රදේශ වලට යන්න අපිට කිසිම හැකියාවක් තිබුනෙ නැහැ. සමහරක් පැති නාය ගිහිල්ල පාරවල් අවහිර වෙලා තිබුනෙ. ඒක නිසා අපට උපදෙස් ලැබුනෙ බඩු ටික රත්මලාන ගුවන් හමුදා කදවුරට බාර දෙන්න ඒ අය හෙලිකොප්ටර් වලින් ගිහිල්ල අවශ්‍ය තැන් වලට බෙදනව කියල. ඉතිං අපි බඩු ටික වෑන් වල පටවගෙන ගුවන් හමුදා කදවුරට ගිහිල්ල අවශ්‍ය නිලදාරීන් හමු උනා. අපේ අවාසනාවට වගේ ඒ වෙනකොට ගුවන් හමුදාවෙන් ආහාර ද්‍රව්‍ය බාර ගැනීම නතර කරල. ඔවුන් අපිට කිව්වෙ ආපදා කලමනාකරණ මද්‍යස්තානයට ගිහිල්ල බාර දෙන්න කියල. 

ඒ ගමන අපි ආපහු එන ගමන් ඒක තියෙන්නෙ කොහෙද කියල බැලුව. ඒ අයට කතා කලහම ඔවුන්ට ඒව බාර ගෙන තියා ගන්න තැනක් නැති හින්දා ඔරැගොඩවත්තෙ තැනකට ගිහිල්ල දෙන්න කිව්ව.මේ අතරෙ කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේත් ගංවතුර ආදාර එකතු කරන මද්‍යස්තානයක් තියෙනව කියල දැන ගන්න ලැබුන. අපි කෝකටත් කියල ලංකා හොස්පිටල් එක ඉස්සරහ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ගියා. කියන්න සංතෝසයි එතන ඒ වැඩ ටික පිලිවෙලකට කෙරෙන බව පෙනුන. ඉතිං අපේ වාහන වල තියෙන බඩුත් එතෙන්ට බාර දෙන්න ලෑස්ති කරන ගමන් මට මතක් උනා දැන් කොලඹ දිස්ත්‍රික් මහ ලේකම් ලෙස ඉන්නෙ සුනිල් කන්නංගර මහත්මය කියල. හැබයි මම මීට කලින් ඔහු මුන ගැහිලවත් කතා කරලවත් නැහැ.

ඒ සම්බන්දතා ඇති වෙලා තියෙන්නෙ මෙහෙමයි. මගේ නෝනගේ නැසීගිය තාත්තා ඉස්සර(එක්දාස් නවසිය හැට ගනන් වල) බදුරලිය පැත්තෙ දුෂ්කර නොදියුනු පාසැලක් වූ ඉගුරුදලුව ඉස්කෝලෙ ඉතා කැපවීමෙන් උගන්නල තියෙනව. සුනිල් මහත්තයත් ඔහුගෙ සහෝදර සහෝදරියනුත් ඒ කාලෙ ඔහුගෙ ශිෂ්‍යයන් වෙලා අවුරුදු කීපයක්ම ඉගෙන ගෙන තියෙනව. මේක මට දැන ගන්න ලැබුනෙ එක දවසක් දැනට මම පදිංචි වෙලා ඉන්න ගෙදර තිබුන මාමණ්ඩිගෙ පොටෝ එක නෝන ටික දවසකට කාටද ගෙනිහින් දෙන්න ලෑස්ති කරන කොට මම ඇහුව ඇයි කියල. එතකොට තමයි විස්තරේ කිව්වෙ. සුනිල් මහත්තයලගෙ ප්‍රදානත්වයෙන් ඉගුරුදලුව ඉස්කෝලෙ සර්ව රාත්‍රී පිරිතක් ඇතුලු උත්සව මාලාවක් සංවිදානය කරල තියෙනව ඒකට හිටපු විදුහල්පතිවරයෙක් වූ අප මාමන්ඩියගේ පොටෝ එකක් අවශ්‍ය වෙලා සුනිල් මහත්මයාගේ සහෝදරයෙක් අප මතුගම නිවසට පැමින විමසීම් කර අප එහි නැති නිසා අසල්වැසි නිවසට අවශ්‍යතාව ය කියා එය ඉටුකර දෙන ලෙස දන්වා ඇත. එම උත්සවයෙන් පසු ඔවුන් එය නැවත අප වෙත එවා තිබුනි.

එම මතකය හරහා සුනිල් මහ හමුවීමට මා සමග පැමිනි පිරිස සමග එතුමා සිටි උඩු මහලක පිහිටි කාර්යාලයට ගියෙමි.පෙර කවදාවත් ඔහු මුනගැසී නොතිබූ නිසා මා කවුදැයි හදුන්වා දීමට ටික වේලාවක් ගත විය. මා කාගේ කවුදැයි දැනගත් පසු  අප සැම ඉතා සුහදශීලී ලෙස පිලිගත් ඔහු පරන මතකයන් අලුත් කරමින් මගේ මාමණ්ඩියගේ උත්සාහය සහ කැපවීම නිසා එම දුෂ්කර ප්‍රදේශයේ ළමෝ විශාල ගනනක් උසස් අද්‍යාපනයට යොමු වී හොද රැකියාවලට යාමට මං පෙත් විවර කර ගත් අයුරු සිහිපත් කලේය. මා හමුවීමට ලැබීම ඉතා අගයකල ඔහු තවත් ආ ගිය කතා අතරේ තමා බ්ලොග් එකක් කරන බවත් අතීත මතක එහි ලියා තබන බවත් කීවේය. ඉන් පසු එහි පැමිනි කාරනය නිමවා ඔහු සමග චායාරූපයකටද මුහුන දුන් අප විඩාබර දවසකින් පසු නැවත අපගේ ආයතනය වෙත පැමිනියෙමු.

මම බ්ලොග් බැලීමට යොමු වූයේ මේ සිද්දියත් සමගය. (බ්ලොග් බැලීම පටන් ගත් හැටි කියන්න ගිහින් වටේ පදුරු තැලුවා වැඩිද මන්ද). සමහර වචන බ්ලොග් බලලම ඉගෙන ගත්ත ඒව.

එයින් පසු මා දැනට මගේ බ්ලොග් අඩවියෙහි "කුමාරෝද පිටු පෙරලූ පිටුහි සදහන් කර ඇති සියලුම බ්ලොග් අඩවි වල සැරි සරා ඇත්තෙමි. ඒවායෙහි ඇති ජීවන විත්ති,පාසැල් මතක,රස කතා,කවි,නිසැදැස් ආදිය කියවා මහත් ආශ්වාදයක් හා වින්දනයක් ලැබූයෙමි. එයින් ලැබුනු ආශ්වාදය හා පෙලඹවීම නිසාත් කුඩා කාලයේ සිට මා තුල තිබූ ලිවීමේ හැකියාවත් කියවීමේ ඇබ්බැහියත් නිසා බ්ලොග් එකක් පටන් ගැනීමට අදහස් කලත් ඒ සදහා අවුරුදු දෙකහමාරක් ගතවිය.එම නිසා බ්ලොග් බැලීමට පාර විවර වූ සුනිල් මහතාගේ අහම්බ හමුවීමත් බ්ලොග් එකක් සාදා ගැනීම සදහා ගුරුහරුකම් දී තිබූ අටම්පහුරේ අටමාත් කණ්ඩාගේ කොලමේ කණ්ඩාත්,නම තෝරා ගැනීමේදී අදහස් උපදෙස් දැක්වීමෙන් දායක වූ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින මා පාසැල් මිතුරියක් වූ නීලමණිවත් ස්තුතිපූර්වකව සිහිපත් කරමි.

බැලුවාට ස්තූතියි.
ඉදිරි දිනයක නැවත කටුගාන තුරු
කුමාරෝද පිටු.


පහත ඇත්තේ ගංවතුර ආධාර වැඩසටහන අතරතුර පිටකොටුවේදී සහ මහලේකම් කාරයාලයේදී ගත් පින්තූර සමහරකි.




 

6 comments:

Aji M said...


ඔබගේ මේ බ්ලොග් එක ආරම්භ කර තිබෙනවා දුටුවම හරිම සතුටු හිතුනා.තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට මේ ඇරඹුම ගැන සතුටුයි වගේම ආඩම්බරයි. මේ ආරම්භ කල බ්ලොග් එක තුලින් රසවත් හරවත් දේ දකින්න ලැබේ යැයි සිතමි. මේ අලුත් බ්ලොග් එකටත්, එ ආරම්භ කල ඔබටත් ජයෙන් ජයම පතමි.

කුමාරෝද පිටු said...

දිරිගැන්වීමට බොහොම ස්තුතියි ඔබට.

Kalana said...

මට හිතෙන විදියට ඔබට ලියන්නට බොහෝ දේ තිබෙනවා . ඒ වගේ ම ඔබගේ ලියවිල්ල ඉතා පැහැදිලී , පිළිවෙලයි .

ඉතිං මගේලෝකය01 බ්ලොග්එක වෙනුවෙන් ආටියා ඔබට හදවතින්ම සුභ පතනවා . ජය වේවා ! <3

කුමාරෝද පිටු said...

බොහොම ස්තුතියි කලණ කුමාරෝද පිටු පෙරලා බලා කරපු දිරි ගැන්වීම ගැන.

නිදිගෙ පංච තන්තරේ said...

ඔයාගේ කමෙන්ටුවක් දැකලා ගොඩ වැදුනේ.
අලුතෙන් බ්ලොගයක් ලියන්න පටන් ගත්තාම ඇතිවුණු හැඟීම මට තවම මතකයි.

හරිම සතුටෙන් ඔයාට සුබ පතනවා.
ඒ වගේම අටමා- ලක්මාල් කන්දෙවිදාන- කණ්ඩා වගේ මට උදව් කල ගොඩ දෙනෙකු ඔයාටත් උදව් කර තිබීම වාසනාවක්. බ්ලොග් සින්ඩිකේටර කිහිපයකට ඔයාගේ බ්ලොගය ඇතුලත් කරගන්න. තවමත් මගේ බ්ලොගයට (දිනයකදී) වැඩිම පිවිසුම් එන්නේ මාතලන්ගේ සින්ඩිය- මාතලන් අඩවි දෙකෙන් බව කියන්නේ එයාලට ස්තුති පූර්වකව.

ඔය මදැයි. ඔන්න දැන් ගිහින්, ඔයාගේ අඩවිය ගැන නිදිගෙ පංච තන්තරෙත් එල්ලනවා.
ස්තුතියි!

කුමාරෝද පිටු said...

බොහොම ස්තුතියි නිදි කුමාරෝද පිටු බලල දිරිගැන්වීම ගැන. පසුගිය අවුරුදු දෙකේදි මම ඔබගේ සියලුම පලකිරීම් බැලුව ඒත් කමෙන්ට් කරේ නම් නැහැ.

අහිමි වූ ආදරයක කදුළු

නවක ගීත රචකයකු වන රවි සිරිවර්දනගේ   මෙම මනරම් පදමාලාව තුලින් අහිමි වූ ආදරයක් ඉදිරියේ පෙම්වතියකගේ සහ පෙම්වතකුගේ සිතේ   ඇතිවන  සංකීරන හැ...