Thursday, February 20, 2020

අහිමි වූ ආදරයක කදුළු



නවක ගීත රචකයකු වන රවි සිරිවර්දනගේ මෙම මනරම් පදමාලාව තුලින් අහිමි වූ ආදරයක් ඉදිරියේ පෙම්වතියකගේ සහ පෙම්වතකුගේ සිතේ  ඇතිවන සංකීරන හැගීම් පිළිබද සියුම් විග්‍රහයක නියැලෙයි.
සේකරමඩවලබංඩාරකේධර්මසිරිසුනිල්අජන්තාප්‍රේමකීර්තිලූෂන්රත්නශ්‍රී ආදී විශිෂ්ටයන්ගෙන් පසු මා දුටු කුසලතා පූර්ණ ගීත රචකයකු ලෙස රවි සිරිවර්දන හැදින්විය හැකිය. කරුනාරත්න විජේවර්ධන ගේ කන්කලු සංගීතයෙන්ද නෙලූ අදිකාරී ගේ හා දයාන් විතාරණගේ බාව පූර්ණ ගායනයෙන්ද ඔපවත් වූ මේ ගීතය වෙනස් රස මානයකට අප කැන්දා ගෙනයයි. මේ සදහා නිර්මානය කල මනරම් වීඩියෝවක් මීට ටික කලකට පෙර ජාතික රූපවාහිනියෙන් දුටු නමුත් මැත කාලයේ එය ප්‍රචාරය වූයේ නැත.

"වසත් කාලය මනරම්
ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකලැල්
පීදිලා එනු සැම කල්"


අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම ආදරයේ ප්‍රමෝදය උදා කර ගත හැක්කේ තමා අසීමිතව පෙම් කරනා මෙම යුවතිය තමාගේ කර ගැනීමෙන් පමණක් බව ඔහු  අදහයි.

"මම දුරින් සුපිපෙන්නම්
ඔබට ලංවෙනු තහනම්
අනුන් සතු උයනේ මම්
පීදිලා ලත වෙන්නම්"


සමාජ සම්මතයන්ට එරෙහි වී ගොස් තහනම් ආදරයක පැටලීමට මට නොහැකියි. ඒ නිසා මුලු හදින්ම ඔබට කැමති උනත් ඔබේ ආදරය දැන් මට තහනම්. දෙෙවයට ඉඩදී නන්නාදුනන කෙනෙකුගේ අත ගෙන සදාකාලිකව  විදවමි ඇය පවසයි.

"නෙලනු බැරි මල් ඇයි මේ සොදුරු
සිතකට නැති මල් ඇයි මට නුදුරු
පැතු මලේ රුසිරූ
මන්ද මට පස මිතුරු"


මිනිස් සිතේ ගති ස්වබාවය අනුව වඩාත් ලස්සන අප ලැබූ දේට වඩා ලබා ගන්නට බැරි වූ දේය. මගේ හිත සොරාගත් ඇය මගෙන් දුරස් වෙන කොට මම පතන්නෙ නැති  අය මට ලංවෙන්න  හදන්නෙ ඇයි. අපේක්ෂා බංගත්වයට  පත්වන ඔහු ප්‍රශ්න කරයි.

"මලක් වී පැතු බඹරෙකු නොලැබු
පිපෙන්නට විය දෑතක නුහුරු
ආදරේ සොදුරූ
මට නොවෙද පස මිතුරු"


කිසි දිනක සැබෑ නොවන මගේ සිහිනයේ මම ප්‍රාර්ථනා කරපු කෙනා වෙනුවට නොදන්න කෙනෙකුගෙ අත අරන් විදවන්න වෙලා තියෙන්නෙ මටයි. මගේ අනාගත ජීවිතය කොහොම ගෙවන්න වේවිද කියල දෙවියො තමයි දන්නෙසුන්දර ආදරයට දොර කවුලු වසන්න වෙලාදෙෙවය  හැම අතින්ම නපුරු වෙලා තියෙන්නෙ මට නෙවෙයිද යනුවෙන් ඇය ප්‍රශ්න කරයි.

"නෙලු මලක් වුව මල් ලොව කවුරූ
දුරින් හිද මම නරබමි රුසිරු
නොවෙන් මට නපුරූ
කදුල මගෙ ලග මිතුරු."


සිතුවිලි  කැලඹුනද නික්ම ගිය ඇය නවතාලන්නට හෝ අයිති කර ගැනීමට  ඔහුට හැකියාවක් නැත. එක්ව යා නොහැකි නම් වෙන්ව යාමට ඉඩදීම නැමති අසීරු සංයමයෙහි ඔහු පිහිටා ඇත. මා අතැර ගිය ඔබ තවකෙකු හා එක්වී මගේ හදවතින් හා පේනමානයෙන් ඈතට ගියත් දුරින් සිට මා ඔබ හා රැදෙන්නම්. එවිට ඔබගේ වියෝගයෙන් ගලනා කදුලු සාගරය සදාකාලික මිතුරෙක් වෙලා  මගේ ලග ඉදීවි.

"සිත පුරා ඇවිදින ඔබෙ පිලිරු
අහිමි දුක වලකමි කොයි අයුරු
දුරින් හිද නොදුරූ
නිවනු මැන ගිනි පුපුරු"


අයිතියක් කිව නොහැකි වුවත් තමන්ගෙන්  දුරස් වන ආදරයට කාන්තාවන් හැමවිටම ලෝබ කරයි එය නැවත්වීමේ හෝ ලග තබා ගැනීමේ දැඩි උවමනාවෙන් පෙලෙයි. දක්ෂ මූර්ති ශිල්පියෙකු  ප්‍රතිමාවක් නෙලන්නෙ සැම විටම පරිපූර්ණත්වය අභිබවා යන ආකාරයටයි. එවැනි විසල් පිලිරුවක්  බදු වූ ඔහුගේ රුව ඇයගේ චිත්ත සන්තානයේ සැරිසරයි. සමහරවිට ඔහු සමග අත් පටලා ගෙන මුහුදු වෙරලේ, ගං තෙරේමල් උයන් වල සැන්දෑවේ කෙලිදෙලෙන් ඇවිද ගිය හැටි ඇයට මතක් වෙනවා ඇති. ඇගේ උඩු සිත අසම්මත සබදතාව‍යකට එරෙහි උවද යටි සිත ඔහුගේ උනුසුම් සමාගමය අපේක්ෂා කරයි. එම නිසා නොපෙනී නොගොස් දුරින් හිද අහිමි වීමේ දුක් ගින්දර නිවන ලෙස ඇය ආයාචනා කරයි. එය ආදරයද නැතහොත්  ආත්මාර්ථකා
මයද?

Thursday, February 13, 2020

අපූ ත්‍රිත්වය


නිර්මලා පැමිණ අපූ ලගින් හිද ගත්තාය. එවෙලේ අපූ වීජ ගණිතයේඅමාරු ගණන් වගයක් සාදමින් සිටියේය.

“මට ඉංග්‍රීසිටිකක් කියල දෙන්නකො අයියෙ”

"ඔන්න ඉතිං ආවා. දැන් බෑ. උදේ ඉදලා එක ගනනක්වත් හරියට හදා ගන්න බැරි උනා."

නිර්මලා තනිවම හිදගෙන පාඩම් කරන්නට වූවාය. ඇය ඉංග්‍රීසි හා බෙංගාලි බස මනාව දැන සිටියාය. පොත මදක් කියවූ ඇය පොත වසා අපූ ගනන් සාදන ආකාරය දෙස බලා සිටියාය. ඉන්පසු ටික වේලාවක් නිහඩව සිටි ඇය අපූගේ උරහිසට අත තබා කතා කලාය.

"මේ බලන්න අපූ අයියෙ, මේ කවියෙ ඉතුරු ටික හදල දෙන්න"

"යන්න මං දන්නෙ නෑ. මට ගනන් හදන්න බැරි උනේ ඔයා හින්දයි නිර්මලා. දැන් කවි හදන්න පටන් අරන්. ඔයා හරි ලමයෙක් තමයි."

නිර්මලා මුදු සිනාවක් පෑවාය.
....................................
...................................
“එක පාරටම අස්පයා වගේ දුවගෙන ආව නේද?. මිනිත්තු තුනට මට බෑ ඕව කරන්න"

"තව වැඩි දවසක් කරන්න වෙන්නෙ නෑ. මාස තුනයි ඊට පස්සෙ යනවා යන්න." නිර්මලාගේ මුහුනින් සිනාව මැකී ගියේය.

"කොහේ යන්නද?"

"මාස තුනකින් විබාගෙ ගන්නවා. ඊට පස්සෙ ගෙදර යනවා. පාස් උනොත් කල්කටාවට ගිහින් ඉගෙන ගන්නවා".

"ඊට පස්සෙ මෙහෙ නවතින්න වෙන්නෙ නැද්ද?".

අපූ හිස සෙලවීය. ටික වෙලාවක් නිහඩව සිටි ඔහු විහිලුවක් කරන ස්වරයෙන් කතා කලේය.

"ඔයාට හොදයිනේ මං යන එක. ඔයාට වැඩ අඩුවෙනවනේ. ඔය මොකද. හානේ මොකද උනේ නිර්මලා."
..............................
..............................
"අයියා ආපහු මෙහෙ එන්නෙ නෑ. මං ඔයාගෙ හැටි දන්නෙ නැද්ද?.මෙහෙන් ගියාට පස්සෙ ආයෙ කවදාවත් ඔයා මේ පැත්තවත් බලන්නෙ නෑ."

අපූ ඒ කියමනට විරුද්ද වීමට ගියත් නිර්මලා එයට බාදා කලාය.

"ඒක මං හොදට දන්නවා. මේ අවුරුදු දෙකට මං අයියව හොදට අදුන ගත්තා. ඔයාගේ හිතේ ආදරේ කරුනාව වගේ දේවල් බොහොම අඩුවෙන් තියෙන්නේ."

2006 වර්ෂයේදී කොලඹ පොත් ප්‍රදර්ශනයෙන් මිලදී ගත් ඉන්දියානු වංග සාහිත්‍යයේ විශිෂ්ට ගත් කතුවරයකු වූ විභූති බූෂණ බ්න්ධෝපාධ්‍ය විසින් රචිත "අපූ ත්‍රිත්වය" තුන්වෙනි වරටත් කියෙව්වෙමි. 
බටහිර බෙංගලයේ පන්තිර් ග්‍රාමයේ උපත ලද මොහු ජිවිතයේ මුල් කාලයේදී අගහිගකම් වලින් පිරුණු ඉතා දුක්බිත ජිවිතයක් ගත කර ඇත. කතුවරයකු විමට පෙර ඔහු සහ ඔහුගේ පවුල ජිවත් කරවීම සදහා විවිද රැකියාවන් වල එනම් ගුරුවරයෙක්,සංචාරක ප්‍රවර්දන නිලදාරියෙක්, වතු ලේකම් කෙනෙක් ලෙසද සේවය කර ඇත. ඔහුගේ රචනා විසිවන සියවසේ  මුල නොබෙදුණු බෙන්ගාලයේ කුල බේදය ඔඩුදුවා තිබු ග්‍රාමීය ප්‍රජාවගේ දිලුදු ජිවිත ඇසුරින් නිර්මාණය වී ඇත. සරල ස්වතන්ත්‍ර රචනා ශෙලියකින් නිර්මාණකරනයේ යෙදුන මේ ඉන්දියානු කතුවරයා මානව දයාවෙන් මෘදු වූ හදවතකින් යුතුව මිනිසාගේ සැප හා දුක මිශ්‍ර වූ අත්දැකීම් ස්වබාවධර්මයේ කෝමල ශාන්ත ස්වරූපය සමග මනා ලෙස සංකලනය කරමින් පාඨක සිත් ශෝකය මුසු ආනන්දයකට ගෙන යන ආකාරය ඉතා ප්‍රසංශනීයයි. සිංහල ගද්‍යය සාහිත්‍යයේ කිවිදිය නමින් විරුදාවලිය ලත් චින්තා ලක්ශ්මී සිංහාරච්චි විසින් සිංහලට පරිවර්තනය කර ඇති මෙම නවකතාව ලංකාවේ සංස්කෘතියට බොහෝ නෑකම් කියයි. ඉහත ඇත්තේ එහි දෙවන කොටස වන "අපරාජිත ජීවිතයක්" හි තිබූ සංවාදායක කොටසකි.

අපූගේ ළමා කාලය විවරණය කරන "මාවතේ ගීතය" තුලදී අපට හමුවන හරිහර, සර්වජයා,අපූර්ව රායි, දුරගා,ඉන්දිරා මැහැල්ල, පටූ,නීලමණී රායි, රාණු අක්කා,නරෝත්තම දාස් සීයා වැනි අයගේ විවිද මානුෂික බැදීම් හා ප්‍රතිවිරෝධතා මතින් එවකට කල්කටාව හෙවත් බෙංගාලය අසල ඉතා පිටිසර ඉන්දියානු ග්‍රාමය ජීවිතය ඉතා විචිත්‍රවත් සිත්තමක් ලෙස අප ඉදිරියේ දිග හැරෙයි. 

එහි දෙවන කොටස වන "අපරාජිත ජීවිතයක්" අපූර්ව රායි හා ඔහුගේ දෙමාපියන් වඩා හොද ජීවිතයක් බලාපොරොත්තුව ගම හැර ගොස් බරණැස ගෙවුණු ජීවිත කතාවයි. එහිදී ඔවුන්  බලාපොරොත්තු වූ සැප පහසුකම් වෙනුවට නාගරික පැල්පත්වාසී ඉතා දුක්බිත ජීවිතයක් උරුම වේ. පෙර ඔවුන් විසූ ග්‍රාමීය නිශ්චිංදිපුරයේ තිබූ සුවදායක පරිසරය, හදිසියකදී පිහිටට එන අසල්වැසියන්, පරිසරයෙන් නොමිලයේ සොයා ගතහැකි  ආහාර ද්‍රවය ආදී කිසිවක් බරණැසදී ඔවුන්ට නොලැබේ. බරණැස ජීවිතය හා බැදුණු ,ශුබංකරී පාඨශාලාව,දශාශ්වමේධ තොටුපල, ලීලා නමැති පොහොසත් දැරිවිය,නිරූපමා, දෙවාන්පුරයේ උසස් විදුහල හා එහිදී හමුවන දේවව්‍රත, සත්‍යන් බාබු, දෙවෙනි මහත්තයාගේ දුව නිර්මලා ආදීන් සමග අපූ ළමා අවධියේ සිට තරුණ අවධියට පා තබන ඉතා කටුක ජීවිත මාවත අප ඉදිරියේ දිග හරියි.

අවසාන කොටස "අපූගේ ලෝකය" තුලින් අපූ උසස් අධ්‍යාපනය සදහා කල්කටා යාම,ශියාල්දහ දුම්රියපල,අඛිල බාබු,රිපන් කොලීජිය හා එහිදී හමුවන යහලුවන් වන ප්‍රණව, අනිල්,මන්මත, ප්‍රණවගේ නෑනා වූ අපර්නාගේ මංගල්‍යට දුම් බෝට්ටුවෙන් යෑම, අනපේක්ෂිත ලෙස අපර්නා සමග වන විවාහය,පුතු කාජල් ඉපදීම , අපර්නාගේ මරණය , සන්නාසියෙකු මෙන් ඉබාගාතේ ඇවිදීම, ලීලාගේ මරණය වැනි සිදුවීම් මගින් අහිමි වූ සෙනෙහසක් සමග යම් දුක් කාන්සාවකින් ඔහු පෙලන අයුරු ඉතා සංවේදී ලෙස අප සිත් තුලට කාවැද්දීමට කතුවරයා ඉතා දක්ෂ ලෙස සමත්ව ඇත. ජීවිතයේ සියලු බැදීම්  අත්හරිනා එහි නිස්සාර බාවය ඉස්මතු වන ලෙස කතාව නිම කිරීමට කතුවරයා උත්සාහ දරා ඇත.

අපූගේ ජීවිතයේ යෞවනය අදුරු දුක්ඛ දෝමනස්සයන් සමගම ගෙවී ගොස් එහි සුගන්දය මැකී රික්තයක් පමනක් ඉතිරි වී ඇත. හමා එන පවන් පොදකින් පවා අපූ තිගැස්සෙයි. ජීවිතයේ ඒ සියලු තන්හි ඔහුගේ දෑසට හසුවන්නේ චමත්කාරය හෝ සුන්දරත්වය වියුක්ත වූ දසුන්ය. ඒවා නිශ්චින්දි පුරයෙහි තම ලමා කාලයේදී දුටු අවතාර වෙතට ඔහු කැදවා ගෙන යයි. ඒ කිසිවක් ජීවිතයට නව බලාපොරොත්තු එක් නොකරයි. අවසන ඔහු දකින හා ඔහුට සිහිවන අතීත ස්මරන තුලින් අපූ තමාව නැවත දකින්නේ ඔහුගේ පුත් කාජල් තුලිනි.

"පුතේ කෝ මේ දග කොල්ලා?.මේ කැලෑවට වැදිලා මොනව කරනවද මං දන්නෙ නෑ.කැලෙන් එලියට එන්න පුතේ."

ලමයා සිනාසෙමින් කැලයෙන් පිටතට ආවේය. ඔහු නැන්දාට මද බියක්වත් දක්වන්නේ නැත. නැන්දා තමාට හුගක් ආදරේ බව ඔහු දනියි. අත්තම්මා මියගිය පසු තම පියා හැර අන් කිසිවකු නැන්දා තරම් ඔහුට ආදරය කලේ නැත. ලමයා කැලෙන් පිටතට එනු දකිද්දී රානුගේ සිතට එකවරම දැනුනේ හරියට මේ ආකාරයෙන්ම මුහුනේ පිලිබිඹු  වන දගකාර ඉරියව්වක් අපූගේ මුහුනේද ඒ කාලයේ තිබුනු බවයි.

යුගයෙන් යුගය අපරාජිත වූ ජීවිතයක රහස කොතරම් අපූරු ආකාරයෙන් නැවත වරක් ඉස්මතු වී ඇත්ද?
අවුරුදු විසි හතරක් ගමට නෑවිත් සිටි බොලද ලමයකු වූ අපූ නැවත වරක් නිශ්චින්දිපුරයට පැමින සිටියි.

ලේඛකයාගේ ජීවිතය වසාගත් අදුරද ආලෝකයද ඒකාත්මික වී ගලා ගොස් නිමාවන අපූගේ කතා ත්‍රිත්වය දිනක අප ජීවිතයේදීද අත් විදින්නට සිදුවන පාලුව හා හුදෙකලාව පිලිබද ශෝකී රසයක් ජනිත කරනා මානයකට අප රැගෙන යයි.

බැලුවාට ස්තූතියි.
ඉදිරි දිනයක නැවත කටුගාන තුරු
කුමාරෝද පිටු.

Friday, February 7, 2020

කොහෙන් කොහොම පටන් ගන්නද

මම බ්ලොග් බලන්න පුරුදු උනේ අහම්බයකින් වගේ. මට මතක විධියට ඒ 2017 අවුරුද්දෙ මැයි මාසෙ. අනෝරා වැහි වැටිලා මහා ගංවතුරක් ගලලා රටේ විශාල ප්‍රදේශයක් ගංවතුරට යට වෙලා අහිංසක මිනිස්සු ලක්ෂ ගණනක් අනාත වෙලා හිටිය. මම සේවය කරන ආයතනයෙනුත් මුදල් එකතු කරා කල් තබාගත හැකි ආහාර වර්ග මිලදී ගෙන අනාත වෙලා හිටිය මිනිස්සුන්ට බෙදල දෙන්න. ඉතින් අපි වැඩි බඩු ප්‍රමානයක් ගන්න පුලුවන් නිසා පිටකොටුවෙ තොග කඩවල් වලින් තමයි ආහාර ද්‍රවය මිලට ගත්තෙ.මතක විදියට රුපියල් ලක්ෂ හතරක විතර හාල්,පරිප්පු,සීනි,තේ,කෝපි,ටින් මාලු,කිරි පැකට්,සෝයා මීට්, පැනඩෝල් වගේ මිනිස්සුන්ට එදිනදා අත්‍යවශ්‍ය දේවල් තොග මිලටම ගත්ත.දැන් මේව බෙදා දෙන එක තමයි ඊලග ප්‍රශ්නය උනේ. ඒ වෙනකොට ගංවතුරට යට උන ප්‍රදේශ වලට යන්න අපිට කිසිම හැකියාවක් තිබුනෙ නැහැ. සමහරක් පැති නාය ගිහිල්ල පාරවල් අවහිර වෙලා තිබුනෙ. ඒක නිසා අපට උපදෙස් ලැබුනෙ බඩු ටික රත්මලාන ගුවන් හමුදා කදවුරට බාර දෙන්න ඒ අය හෙලිකොප්ටර් වලින් ගිහිල්ල අවශ්‍ය තැන් වලට බෙදනව කියල. ඉතිං අපි බඩු ටික වෑන් වල පටවගෙන ගුවන් හමුදා කදවුරට ගිහිල්ල අවශ්‍ය නිලදාරීන් හමු උනා. අපේ අවාසනාවට වගේ ඒ වෙනකොට ගුවන් හමුදාවෙන් ආහාර ද්‍රව්‍ය බාර ගැනීම නතර කරල. ඔවුන් අපිට කිව්වෙ ආපදා කලමනාකරණ මද්‍යස්තානයට ගිහිල්ල බාර දෙන්න කියල. 

ඒ ගමන අපි ආපහු එන ගමන් ඒක තියෙන්නෙ කොහෙද කියල බැලුව. ඒ අයට කතා කලහම ඔවුන්ට ඒව බාර ගෙන තියා ගන්න තැනක් නැති හින්දා ඔරැගොඩවත්තෙ තැනකට ගිහිල්ල දෙන්න කිව්ව.මේ අතරෙ කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේත් ගංවතුර ආදාර එකතු කරන මද්‍යස්තානයක් තියෙනව කියල දැන ගන්න ලැබුන. අපි කෝකටත් කියල ලංකා හොස්පිටල් එක ඉස්සරහ තියෙන දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට ගියා. කියන්න සංතෝසයි එතන ඒ වැඩ ටික පිලිවෙලකට කෙරෙන බව පෙනුන. ඉතිං අපේ වාහන වල තියෙන බඩුත් එතෙන්ට බාර දෙන්න ලෑස්ති කරන ගමන් මට මතක් උනා දැන් කොලඹ දිස්ත්‍රික් මහ ලේකම් ලෙස ඉන්නෙ සුනිල් කන්නංගර මහත්මය කියල. හැබයි මම මීට කලින් ඔහු මුන ගැහිලවත් කතා කරලවත් නැහැ.

ඒ සම්බන්දතා ඇති වෙලා තියෙන්නෙ මෙහෙමයි. මගේ නෝනගේ නැසීගිය තාත්තා ඉස්සර(එක්දාස් නවසිය හැට ගනන් වල) බදුරලිය පැත්තෙ දුෂ්කර නොදියුනු පාසැලක් වූ ඉගුරුදලුව ඉස්කෝලෙ ඉතා කැපවීමෙන් උගන්නල තියෙනව. සුනිල් මහත්තයත් ඔහුගෙ සහෝදර සහෝදරියනුත් ඒ කාලෙ ඔහුගෙ ශිෂ්‍යයන් වෙලා අවුරුදු කීපයක්ම ඉගෙන ගෙන තියෙනව. මේක මට දැන ගන්න ලැබුනෙ එක දවසක් දැනට මම පදිංචි වෙලා ඉන්න ගෙදර තිබුන මාමණ්ඩිගෙ පොටෝ එක නෝන ටික දවසකට කාටද ගෙනිහින් දෙන්න ලෑස්ති කරන කොට මම ඇහුව ඇයි කියල. එතකොට තමයි විස්තරේ කිව්වෙ. සුනිල් මහත්තයලගෙ ප්‍රදානත්වයෙන් ඉගුරුදලුව ඉස්කෝලෙ සර්ව රාත්‍රී පිරිතක් ඇතුලු උත්සව මාලාවක් සංවිදානය කරල තියෙනව ඒකට හිටපු විදුහල්පතිවරයෙක් වූ අප මාමන්ඩියගේ පොටෝ එකක් අවශ්‍ය වෙලා සුනිල් මහත්මයාගේ සහෝදරයෙක් අප මතුගම නිවසට පැමින විමසීම් කර අප එහි නැති නිසා අසල්වැසි නිවසට අවශ්‍යතාව ය කියා එය ඉටුකර දෙන ලෙස දන්වා ඇත. එම උත්සවයෙන් පසු ඔවුන් එය නැවත අප වෙත එවා තිබුනි.

එම මතකය හරහා සුනිල් මහ හමුවීමට මා සමග පැමිනි පිරිස සමග එතුමා සිටි උඩු මහලක පිහිටි කාර්යාලයට ගියෙමි.පෙර කවදාවත් ඔහු මුනගැසී නොතිබූ නිසා මා කවුදැයි හදුන්වා දීමට ටික වේලාවක් ගත විය. මා කාගේ කවුදැයි දැනගත් පසු  අප සැම ඉතා සුහදශීලී ලෙස පිලිගත් ඔහු පරන මතකයන් අලුත් කරමින් මගේ මාමණ්ඩියගේ උත්සාහය සහ කැපවීම නිසා එම දුෂ්කර ප්‍රදේශයේ ළමෝ විශාල ගනනක් උසස් අද්‍යාපනයට යොමු වී හොද රැකියාවලට යාමට මං පෙත් විවර කර ගත් අයුරු සිහිපත් කලේය. මා හමුවීමට ලැබීම ඉතා අගයකල ඔහු තවත් ආ ගිය කතා අතරේ තමා බ්ලොග් එකක් කරන බවත් අතීත මතක එහි ලියා තබන බවත් කීවේය. ඉන් පසු එහි පැමිනි කාරනය නිමවා ඔහු සමග චායාරූපයකටද මුහුන දුන් අප විඩාබර දවසකින් පසු නැවත අපගේ ආයතනය වෙත පැමිනියෙමු.

මම බ්ලොග් බැලීමට යොමු වූයේ මේ සිද්දියත් සමගය. (බ්ලොග් බැලීම පටන් ගත් හැටි කියන්න ගිහින් වටේ පදුරු තැලුවා වැඩිද මන්ද). සමහර වචන බ්ලොග් බලලම ඉගෙන ගත්ත ඒව.

එයින් පසු මා දැනට මගේ බ්ලොග් අඩවියෙහි "කුමාරෝද පිටු පෙරලූ පිටුහි සදහන් කර ඇති සියලුම බ්ලොග් අඩවි වල සැරි සරා ඇත්තෙමි. ඒවායෙහි ඇති ජීවන විත්ති,පාසැල් මතක,රස කතා,කවි,නිසැදැස් ආදිය කියවා මහත් ආශ්වාදයක් හා වින්දනයක් ලැබූයෙමි. එයින් ලැබුනු ආශ්වාදය හා පෙලඹවීම නිසාත් කුඩා කාලයේ සිට මා තුල තිබූ ලිවීමේ හැකියාවත් කියවීමේ ඇබ්බැහියත් නිසා බ්ලොග් එකක් පටන් ගැනීමට අදහස් කලත් ඒ සදහා අවුරුදු දෙකහමාරක් ගතවිය.එම නිසා බ්ලොග් බැලීමට පාර විවර වූ සුනිල් මහතාගේ අහම්බ හමුවීමත් බ්ලොග් එකක් සාදා ගැනීම සදහා ගුරුහරුකම් දී තිබූ අටම්පහුරේ අටමාත් කණ්ඩාගේ කොලමේ කණ්ඩාත්,නම තෝරා ගැනීමේදී අදහස් උපදෙස් දැක්වීමෙන් දායක වූ දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින මා පාසැල් මිතුරියක් වූ නීලමණිවත් ස්තුතිපූර්වකව සිහිපත් කරමි.

බැලුවාට ස්තූතියි.
ඉදිරි දිනයක නැවත කටුගාන තුරු
කුමාරෝද පිටු.


පහත ඇත්තේ ගංවතුර ආධාර වැඩසටහන අතරතුර පිටකොටුවේදී සහ මහලේකම් කාරයාලයේදී ගත් පින්තූර සමහරකි.




 

අහිමි වූ ආදරයක කදුළු

නවක ගීත රචකයකු වන රවි සිරිවර්දනගේ   මෙම මනරම් පදමාලාව තුලින් අහිමි වූ ආදරයක් ඉදිරියේ පෙම්වතියකගේ සහ පෙම්වතකුගේ සිතේ   ඇතිවන  සංකීරන හැ...